
LANKAPAK 2026 ඇසුරුම්කරණයේ වර්ධනය හා නවෝත්පාදනය සඳහා නව වේදිකාවක් සකසයි
ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තය මේ වන විට තිරසාරභාවය, සම්පත් කාර්යක්ෂමතාව, නවෝත්පාදනය, තාක්ෂණය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතා සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම්වලට ලක්වෙමින් පවතී. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ඇසුරුම්කරණ ප්‍රදර්ශනය වන LANKAPAK 2026, 2026 ඔක්තෝබර් මස 23 සිට 25 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ප්රමුඛ කර්මාන්ත පාර්ශ්වකරුවන් රැසක් එකම වේදිකාවකට එක් කරනු ඇත.
ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය (SLIP) සහ CDC Events & Travels (Pvt.) Ltd. එක්ව සංවිධානය කරන LANKAPAK හි 27 වැනි අදියර සඳහා ශ්‍රී ලංකාව සහ විදේශයන් නියෝජනය කරමින් සමාගම් 80කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශන කුටි 160කට වැඩි සංඛ්‍යාවක් එක්වීමට නියමිතය. චීනය, ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින ඇතුළු රටවල සහභාගිවන්නන් ද ඒ අතර වේ.
ඇසුරුම්කරණ යන්ත්‍රෝපකරණ, සැකසුම් තාක්ෂණයන්, මුද්‍රණ, ප්ලාස්ටික්, කඩදාසි, ලේබල්කරණය, තිරසාර ඇසුරුම්කරණය සහ නවෝත්පාදන ද්‍රව්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක නවතම විසඳුම් LANKAPAK 2026 හිදී ප්‍රදර්ශනය කෙරේ. මෙය නිෂ්පාදකයන්, අපනයනකරුවන්, SMEs, ව්‍යවසායකයන්, තාක්ෂණ සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් එකම වේදිකාවකට එක් කරමින් නව ව්‍යාපාරික සබඳතා සහ වෙළෙඳ අවස්ථා නිර්මාණය කිරීමට දායක වේ.
විශේෂයෙන්ම SMEs සඳහා නව තාක්ෂණයන්, දැනුම සහ වෙළෙඳපොළ අවස්ථා වෙත ප්‍රවේශය ලබාදීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන ගුණාත්මකභාවය හා තරගකාරීත්වය ඉහළ නැංවීමට LANKAPAK සහාය වේ. අපනයනකරුවන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන ඇසුරුම් විසඳුම් හඳුනාගෙන ගෝලීය වෙළෙඳපොළ තුළ සිය තරගකාරීත්වය ශක්තිමත් කර ගැනීමටද අවස්ථාව සැලසේ. ඒ සමඟම, නවෝත්පාදනය, තිරසාරභාවය සහ තාක්ෂණික දියුණුව ප්‍රවර්ධනය කරමින් සමස්ත ශ්‍රී ලාංකික ඇසුරුම්කරණ කර්මාන්තයේ දිගුකාලීන වර්ධනයට LANKAPAK 2026 වැදගත් දායකත්වයක් සපයයි.
ප්‍රදර්ශනයට සමගාමීව ඔක්තෝබර් මස 23 සහ 24 යන දිනවල SLIP Annual Packaging Congress 2026 පැවැත්වෙන අතර, “Rewriting Packaging in the New Global Economic Landscape” යන තේමාව යටතේ තිරසාරභාවය, නව තාක්ෂණයන්, ගෝලීය වෙළෙඳපොළ ප්රවණතා සහ අපනයන තරගකාරීත්වය පිළිබඳව අවධානය යොමු කෙරේ. Packaging Clinic මඟින් ඇසුරුම් නිර්මාණය, ද්‍රව්‍ය තෝරා ගැනීම, ප්රමිතීන් සහ අපනයන සූදානම පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලබාදෙන අතර, Daily Tech Forum මඟින් නව තාක්ෂණයන් සහ කර්මාන්තයේ නවතම සංවර්ධනයන් පිළිබඳ දැනුම බෙදාගැනීමට අවස්ථාව සලසයි.

ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ සභාපති නිශාන් පෙරේරා මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය:
“LANKAPAK 2026 යනු හුදෙක් ප්‍රදර්ශනයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තයේ අඛණ්ඩ සංවර්ධනය සඳහා වැදගත් වේදිකාවකි. විශේෂයෙන්ම දේශීය නිෂ්පාදකයන්, අපනයනකරුවන් සහ SMEs ඇතුළු ව්‍යාපාර, ඔවුන්ගේ වර්ධනයට සහ තරගකාරීත්වයට අවශ්‍ය තාක්ෂණය, දැනුම සහ හවුල්කාරිත්වයන් සමඟ සම්බන්ධ කිරීම අපගේ ප්‍රධාන අරමුණයි. ගෝලීය වශයෙන් තිරසාරභාවය, වෘත්තාකාර ආර්ථික ක්‍රමවේද සහ නව තාක්ෂණයන් ඇසුරුම්කරණ ක්ෂේත්රය වෙනස් කරමින් පවතින බැවින්, ශ්‍රී ලාංකික කර්මාන්තයට මෙම වෙනස්කම් සහ ඒවා මගින් නිර්මාණය වන අවස්ථාවන් සඳහා සූදානම් වීම ඉතා වැදගත් වේ.”
ප්රමුඛ කර්මාන්ත හවුල්කරුවන්ගේ සහයෝගයද LANKAPAK හි වැදගත්කම තවදුරටත් තහවුරු කරයි. KWO Printing Needs (Pvt.) Ltd. ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසත්, Polydime Plastics (Pvt.) Ltd. ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙසත් එක්ව සිටී. Petro Packaging (Pvt.) Ltd. සහ Advanced Printing Technologies (Pvt.) Ltd. රන් අනුග්රාහකයන් ලෙසත්, FMJ Holdings සහ CMC Engineering Export GmbH රිදී අනුග්රාහකයන් ලෙසත් සහාය දක්වති.
KWO Printing Needs (Pvt.) Ltd. හි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන අනුග්‍රාහක කුමාර වෙලන්ගොඩ මහතා පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තය තුළ නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ඉදිරියට ගෙන යන ප්රමුඛ වේදිකාවකට සහාය දැක්වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. LANKAPAK 2026 සාර්ථක කර ගැනීමට සංවිධායකයන් දක්වන කැපවීම අපි අගය කරමු.” යනුවෙනි.
Polydime International (Pvt.) Ltd. හි අධ්යක්ෂ සහ ප්ලැටිනම් අනුග්‍රාහක ජොහාන් ට්රැන්චල් මහතා පැවසුවේ, “LANKAPAK ප්‍රදර්ශන හරහා කාර්යසාධනය, ගුණාත්මකභාවය සහ තාක්ෂණය ඒකාබද්ධ කරන නවෝත්පාදන හා තිරසාර ඇසුරුම් විසඳුම් ලබාදීමට Polydime Group සමාගමට හැකි වී තිබේ. එමඟින් පාරිභෝගිකයන්ට තම නිෂ්පාදන ආරක්ෂා කර ගැනීමට, වෙළෙඳ නාම ශක්තිමත් කිරීමට සහ සාර්ථක අනාගතයක් ගොඩනඟා ගැනීමට සහාය වේ.” යනුවෙනි.
