උතුරු – නැගෙනහිර ඉඩම් දෙසැම්බර් 31ට පෙර ජනතාවට

Share Button

උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් අනිවාර්යයෙන්ම එම ජනතාවට ලබාදිය යුතු අතර, සියලු ගැටලු නිරාකරණය කරගනිමින් මෙම දෙසැම්බර් 31 වැනිදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය තුන්වන වරටත් පසුගියදා (03) පස්වරුවේ පාර්ලිමේන්තු රැස් වූ අවස්ථාවේදිය.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ විධිමත් කාල රාමුවක් සකසා ගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත් කරන ලෙසත්, එහි ප්‍රගතිය ලබන මස පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිඳ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමට ඉදිරිපත් කරන ලෙසත් ය.

එමෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල, සන්නද්ධ බලකායන් යටතේ පවත්නා, පාසල්වලට අයත් ඉඩම් සහ ගොඩනැගිලි නිදහස් කිරීම පිළිබඳව හා උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පානීය ජල ගැටලුව විසඳීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට තදබල ජල හිඟයකට මුහුණපෑමට සිදුව ඇති අතර එම ගැටලූව විසදිම සාඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු විමසා ඇත.

අක්කරෙයිපත්තු හි ජල සම්පත යෝග්‍ය ප්‍රමාණයන්ගෙන් පවත්නා නමුදු, ඛෙදා හැරිමේ ජාලයක් නොමැතීවීම හේතුවෙන් ඇතැම් ගම්මාන සහ ප්‍රජාවන් වෙත ජලය බෙදාහැරීමේ ප්‍රවේශ ඇහිරි තිබෙන අතර ඒ සඳහා කඩිනමි විසඳුම් සෙවීම පිළිබඳව ද අවධානය යොමු විය.

කිලිනොච්චි දිස්තික්කයට බලපා ඇති නියං තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය හා උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රචණ්ඩත්වය හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ගෙනයන වැඩපිළිවෙලේ ප්‍රගතිය ද විශේෂ සාකච්ඡාවට ලක්වී තිබේ.

මඩු පූජනීය ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය ද විමසු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ දීර්ඝකාලීන යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවට අහිමි වූ සංවර්ධනයේ ප්‍රතිලාභ නැවත එම ජනතාවට ලබාදීමේ දී සියලු පාර්ශ්වයන් තම වගකීම් නිසියාකාරව ඉටුකළ යුතු බවයි.

විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *